නාවික හමුදාවේ මූලිකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරාය UCT ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 31 වන දින කොළඹ වරායේ යුනිටි බහාලුම් පර්යන්ත (UCT) ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසය සදහා න්‍යායික හා ප්‍රායෝගික සැසි ඇතුළත් වූ අතර,ඒ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිණි නිවීමේ ඒකකයද සහභාගී විය.

මෙහි න්‍යායික සැසිය තුළදී; රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝග ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරිණි.