ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ 2026 අප්‍රේල් මස 02 සහ 03 දෙදින පුරා පැවති ආගමික ආගමික වැඩසටහන් මාලාවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් 2026 අ‍ප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සුමධුර ධර්මදේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් මස 03 වන දින ගරුතර මහා සංඝරත්න‍යේ තිස් දෙනමක් (32) වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීමද සිදුකෙරිණි.

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව සිදුකෙරිණි.