අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2024 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ 2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ සේවයේ නියුතු සහ ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් පන්සිය පනස් දෙදෙනෙක් (552) වෙත නාවික හමුදා සුභසාධක අරමුදලේ දායකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට කටයුතු කෙරුණු අතර, සංකේතාත්මකව ශිෂ්‍යත්වලාභී දරුවන් දහතුන් දෙනෙක් (13) වෙත ශිෂ්‍යත්ව ප්‍රේෂණ පත් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මෙම වැඩසටහන යටතේ, 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයින් හතලිස් දෙදෙනෙක් (42), එම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ (A) නවයක් (09)ක් ලබාගත් ශිෂ්‍යයින් පනස් තුන්දෙනෙක් (53) සහ 2025 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ ශිෂ්‍යයින් හාරසිය පනස් හත් දෙනෙක් (457) වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට කටයුතු කෙරිණි.

තවද, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික පුද්ගලයින්, ශිෂ්‍යත්වලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මීට සහභාගී වී සිටියහ.