නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1153 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2026 අප්‍රේල් මස 08 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1153 ක් ජනතා අයිතියට පත්කර ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයට දෛනිකව පැමිණෙන සේවාලාභීන් විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.