දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 09 වැනි දින උදෑසන කටයුතු කෙරිණි.

තංගල්ල ධීවර වරායෙන් 2026 මාර්තු මස 21 වන දින ධීවරයින් හය දෙනෙකු (06) රැගත් ‘හසිදු පුතා 1’ (IMUL-A-0485 TLE) නැමති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, නාවික සැතපුම් එකසිය හතලිස් නවයක (149) දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, එහි සිටි ධීවරයෙකු තදබල පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව තිබේ.

ඒ අනුව, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි.

පසුව, අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින්, ඔහු කඩිනමින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2026 අප්‍රේල් මස 09 වැනි දින උදෑසන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.