විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි හතර දෙනෙක් (24) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 10 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී, 33 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

ඒ අනුව, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් පුහුණු සාමාජිකයාට හිමි කොමාණ්ඩර් එස්එන්කේ සිල්වා අනුස්මරණ කුසලානය, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබු ප්‍රධාන සුළු නිලධාරි කේජී ශාන්ත අනුස්මරණ කුසලානය හා පාඨමාලාවේ අතිශූර පුහුණු සාමාජිකයාට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්ඩබ් ගාල්‍ල‍ගේ අනුස්මරණ විශේෂ යාත්‍රා බලඝණ සම්මානණීය සිරිය සාමාන්‍ය නැවි ඩබ්එස්ඒ ප්‍රනාන්දු විසින්ද, දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි කොමාණ්ඩර් සීඩි මාටින්ස්ටයින් අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ජේඑම්ආර්පී ජයතිලක විසින්ද, හොඳම ශාරීරික යෝග්‍යතාකරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්කේ දළුගම අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි පීඑස් ජයවර්ධන විසින් සහ පාඨමාලාවේ අතිශූර පිහිණූම්කරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් ටිඩී පලිහේන අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි එස්ඊටී සුමතිරත්න විසින්ද හිමිකර ගන්නා ලදි.

මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ඔවුන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවට සංග්‍රාමික බලඝනයක අවශ්‍යතාවය හඳුනාගෙන එය පිහිටුවීමේ සිට මේ දක්වා එහි විශිෂ්ටත්වය ඉහළ නංවමින් දූරදර්ශී ලෙස කටයුතු කළ නිර්මාතෘවරුන් සහ විවිධ කාලවලදී ඒ සඳහා කැපවූ සියලු නාවික පුද්ගලයින් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන ලදි.

එමෙන්ම, මෙම සුවිශේෂී අවස්ථාවේදි නාවික හමුදාධිපති විසින්, පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයෙකු බිහි කිරීම සඳහා කටයුතු කරනු ලැබූ උපදේශකයන් වෙතද ගෞරවය, කෘතඥතාව සහ උණුසුම් ප්‍රශංසාව පිරිනමන ලදි. තවද, තරුණ ජවය ධෛර්යයේත්, විශිෂ්ටත්වයේත් සජීවී සංකේතයක් බවට පත්වී ඇති බවත්, එවැනි තරුණ ශක්තියක් ජාතියට දායාද කිරීම වෙනුවෙන් නාවික හමුදාව පමණක් නොව මුළු ජාතියේම ගෞරවය සහ කෘතඥතාවය දෙමව්පියන් හට නිතැතින්ම හිමි වෙන බවත් ප්‍රකාශ කරන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, විසිර යන ලද නාවික පුද්ගලයන් පළඳින මෙම ලාංඡනය, හුදෙක් ජයග්‍රහණයක සංකේතයක් පමණක් නොවන බවත්, එය බැරෑරුම් වගකීමක පණිවිඩයක් වන බවත් සෑම විටම මතක තබා ගත යුතු බව අවධාරණය කරන ලදි. කිසි විටෙකත් නොසැලෙන ධෛර්යයත්, දැඩි අධිෂ්ඨානයත් සමඟ, ගෞරවාන්විත හා අභිමානවත් විශිෂ්ඨ නාවික හමුදා සේවයක් සිදුකිරීමට විසිර යන ලද නාවික පුද්ගලයන් හට හැකි වේවායි ප්‍රාර්ථනා කරන ලදි. එමෙන්ම, සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන වගකීම දරන ශ්‍රී ලංකා නාවික හමුදාව, අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් මුදවා ගැනීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත්, එම උදාර අරමුණු තව දුරටත් ඉටු කිරීම සඳහා, විසිර යන සියලු නාවික පුද්ගලයන් තව දුරටත් කැපවෙනු ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කරන ලදි.

විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් විසින් සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් එම බලඝණ පරිශ්‍රයේ සහ නිකල්සන් කෝව් මුහුදු තීරයේ කුසලතා පුහුණු සංදර්ශණයක් දෙරණ , ගුවන හා දියඹ ත්‍රිත්වයම උපයෝගි කර ගනිමින් සිදුකරන ලද අතර, ඒ සඳහා විශේෂ යාත්‍රා බලඝණයේ සැගවුණු වෙඩික්කරුවන්, සංග්‍රාමික කිමිදුම්කරුවන්, VBSS කණ්ඩායම්, සුනඛ සංචිතයට අයත් සාගරික විශේෂ ක්‍රියාන්විත සදහා පුහුණු කරන ලද සංග්‍රාමික සුනඛ කණ්ඩායම්, විශේෂ මෙහෙයුම් සටන් කලා කණ්ඩායම්, වෙරළබඩ නාගරික ප්‍රදේශයන් තුල මෙහෙයුම් සිදු කරනු ලබන විශේෂ කණ්ඩායම් සහ කොමාණ්ඩර් කමල් තිස්ස කුමාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නාවික හමුදා පැරෂුට් සංචිතය නියෝජනය කරනු ලබන විශේෂ යාත්‍රා බලඝණයේ පැරෂුට් පැනිම් සාමාජිකයින්ද සහභාගි වන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර තිසේරා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, යුද්ධ හා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම, විසිර යන ලද 33 වැනි බඳවා ගැනීමට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.