නාවික මහ රෝහලෙහි නේවාසික රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සංගමය වෙතින් ප්‍රදානයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මඟින්, නාවික මහ රෝහල කොළඹහී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය ඇදුම් කට්ටල, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර තොගයක් 2026 අප්‍රේල් මස 07 වැනි දින, එම රෝහල් පරිශ්‍රයේදී පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මඟින් නාවික මහ රෝහල කොළඹහී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පරිහරණය සදහා නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු මෙම අත්‍යවශ්‍ය ඇදුම් කට්ටල, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර තොගය මඟින් නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු නාවික හමුදා පුද්ගලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට නාවික මහ රෝහල මඟින් සපයනු ලබන රෝගී සුභසාධනයන් වඩාත් උසස් මට්ටමට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා, අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, බටහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයින් සහ නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.