සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

2026 අප්‍රේල් මස 15 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 අප්‍රේල් මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම සුහද සංචාරයේදි ‘KRI BIMA SUCI - 945’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් SUGENG HARIYANTO, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සමඟ නිල හමුවන් පැවැත්විය. එමෙන්ම, ශ්‍රි ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදාව අතර 2027 වර්ෂයේදී පැවැත්වීමට නියමිත මාණ්ඩලික සාකච්ඡාවට (Navy Staff Talks – Sri Lanka Navy and Indonesian Navy) අදාල පූර්ව සාකච්ඡාවක් දෙරටේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ, නාවික හමුදා පරිශ්‍රයේදී පැවැත්විණි.

තවද, ‘KRI BIMA SUCI - 945’ නෞකාවෙහි නිරීක්‍ෂණ සංචාරයක නිරත වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන්ට අවස්ථාව හිමි විය.

එමෙන්ම, ‘KRI BIMA SUCI - 945’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළදී, දෙරටේ නාවික හමුදාවන්හී සහභාගීත්වයෙන් නගර පෙළපාලියක් සහ සංස්කෘතික සංදර්ශණයක්, සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද අත්පන්දු තරඟාවලියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවති අතර, එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී විය.