නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ මෙහෙයුම්, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 අප්‍රේල් මස 18 සහ 19 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.

ඒ අනුව, සංචාරය ආරම්භ කරමින්, වයඹ නාවික විධානය වෙත පැමිණි නාවික හමුදාධිපති, එම විධානයේ ආඥාපති විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි, විජය, භරණ සහ ථේරපුත්ත යන ආයතනයන් වෙත ගොස්, එහි මෙහෙයුම්, සුභසාධන සහ කෘෂි ව්‍යාපෘති කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු තවදුරටත් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටද කටයුතු කෙරිණි.

එහිදි, එම ආයතනයන්හි නාවික පුද්ගලයින් ඇමතු නාවික හමුදාධිපති, විනයානුකූල පැවැත්මක් තුළින් නාවික හමුදාවේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීමේ වැදගත්කම සම්බන්ධව අවධාරණය කෙරිණි.