පුහුණු වැඩ සටහනක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව පුහුණු වැඩසටහනක් සඳහා 2026 අප්‍රේල් මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, පුහුණු වැඩසටහන අවසන් කරමින්, එම නෞකාව 2026 අප්‍රේල් මස 28 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘INS NIREEKSHAK’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Sailesh Kumar Tyagi සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම පුහුණු සංචාරය සඳහා පැමිණි Diving Support Vessel වර්ගයට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලය තුළ, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වු අතර, එමඟින් දෙරටෙහි කිමිදුම් අංශයන්ගේ අත්දැකීම් හුවමාරුව සහ හැකියාවන් වර්ධනය සඳහා අවස්ථාව උදාවිය.

එමෙන්ම, ‘INS NIREEKSHAK නෞකාවේ නැව් මුළුව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ යෝගා වැඩසටහනක්, අත්පන්දු තරඟයක් සහ වෙරළ පිරිසිදු කිරී‍මේ වැඩසටහනක් සඳහා සහභාගීවු අතර, නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කරන ලදි.