නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 මැයි මස 01 සිට 03 දින දක්වා උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති උතුරු නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයේ ආරක්‍ෂක තත්වය, මෙහෙයුම් සූදානම, පරිපාලන සහ සුභසාධන ව්‍යාපෘති පිලිබඳ නාවික හමුදාධිපති දැනුවත් කිරීම විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි. එහිදී, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය පැහැදිලි කළ නාවික හමුදාධිපති උතුරු මුහුදේ නීතිමය භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සහ මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරමින්, උතුරු නාවික විධානය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සහ සංවර්ධන හා සුභසාධන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

අනතුරුව, උතුරු නාවික විධානයට අයත් නෞකා සහ යාත්‍රාවන්ගේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ නාවික හමුදාධිපති, දියත් අංශයන්ට අයත් නිලධාරීන් හා නාවිකයින් අමතා, නාවික හමුදා මෙහෙයුම්, පුහුණු ක්‍රියාකාරකම් මෙන්ම සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති කාර්යක්‍ෂම ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සහ මනා විනය හා පැවැත්ම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අඛණ්ඩව අපේක්‍ෂා කරනු ලබන බව එහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම, මෙම නිල සංචාරයට සමඟාමීව නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා “එළාර” ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙමින් පවතින නව ජැටියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයට අයත් දූපත් ආශ්‍රිත ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය නිරීක්‍ෂණය කිරීමද සිදු කෙරිණි.