‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් සහභාගීවූ නාවික හමුදා පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්වය කළමනාකරණය සහ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වූ නාවික පුද්ගලයින්ගේ කැපවීම අගය කිරීමේ උත්සවයක් 2026 මැයි මස 08 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන සංකීර්ණයේදී සිදුකෙරිණි.

2025 නොවැම්බර් මස 28 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ අහිතකර කාළගුණික තත්වය හා ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවධානම් සහගත තත්වයේ සිටි ජනතාව මුදා ගැනීම සහ ආපදා තත්වය නිසා ඇති වු හානි ක්‍ෂණිකව යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් තම රාජකාරී සීමාවෙන් ඔබ්බට යමින්, ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් සියළුම නාවික විධානයන් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය.

ඒ අනුව, නාවික හමුදාව විසින් අවදානම් සහගතව සිටි ජිවිත එක්දහස් තුන්සිය හැත්තෑ අටක් (1378) සුරක්‍ෂිතව මුදා ගැනීමටත්, තිස් එක්දහස් එකසිය අනුහය දෙනෙකු (31196) අවධානම් ස්ථානයන්ගෙන් මුදවාගෙන සුරක්‍ෂිතව ආරක්‍ෂිත ස්ථානයන් කරා යොමු කිරීමට සමත් වු අතර, අත්‍යාවශ්‍ය මානුෂීය සහනාධාර වෙනුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂිතව සැකසූ ආහාර ලබා දීමත්, පිරිසිදු පානීය ජලය ලබා දීමටත්, පශ්චාත් ගංවතුර ආපදා සහන මෙහෙයුම් යටතේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මඟින් ජල පවිත්‍රාගාරයන්හි අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු සඳහා කිමිදුම් සහය ලබා දීම සිදු කරන ලදි. විශේෂයෙන්ම නාවික හමුදාව ඉතාමත් අවදානම් තත්වයන්හී සිටි මිනිස් ජීවිත මුදා ගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කල අතර, කලා ඔය සැඩ පහරට හසුවූ බස් රථයේ මගී ජනතා‍වගේ ජීවිත අවධානමින් මුදා ගැනීම සදහා ක්‍රියාත්මක කරන ලද නාවික මෙහෙයුම විශේෂ ඇගයීම් වලටද භාජනය විය.

මෙම මානුෂීය ආපදා සහන මෙහෙයුම් සඳහා අසීමිත කැපවීමෙන් හා වගකීමෙන් යුතුව දායකත්වය ලබා දුන් නාවික හමුදා පුද්ගලයින් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාව වෘත්තීමය අභිමානය, විනය සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීමට සෑම විටම සූදානම්ව සිටින බව ප්‍රකාශ කල අතර, සාමූහිකත්වය, අධිෂ්ඨානය සහ කැපවීම මත පදනම්ව එකමුතුව කටයුතු කිරීම මඟින් අසීරු හා අභියෝගාත්මක අවස්ථාවන්හිදී පවා ජාතික අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට නාවික හමුදාවට හැකි වූ බවද එහිදී අවධාරණය කරන ලදී.

තවද, මානුෂීය ආධාර සහ අපදා සහන මෙහෙයුම් වලට සහභාගී වූ පුද්ගලයින් වෙනුවෙන් ඇගයීම් ලිපි ප්‍රධානයේ පළමු අධියර නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, මෙම වැඩසටහනට සමඟාමීව නාවික හමුදාවේ අනෙකුත් විධානයන් තුලද, විධාන භාර ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නාවික පුද්ගලයින් ඇගයී‍ම සඳහා වැඩසටහන් සංවිධානය කෙරිණි.