නාවික හමුදාව වෙතට ඉඳුරාම බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2025/01 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය, 2026 මැයි මස 15 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව, නිත්‍ය නාවික හමුදාවේ විධායක, සැපයුම්, තොරතුරු තාක්ෂණ, සිවිල් ඉංජිනේරු සහ නාවික පාබල අංශයන් වෙත නිලධාරීන් සහ නිලධාරිනියන්ද, ස්වේච්ඡා නාවික හමුදාවේ විධායක අංශය, මනෝ වෛද්‍ය උපදේශනය සහ ගිණුම්කරණය සඳහා නිලධාරීන් සහ නිලධාරිනීයන් ඇතුළුව නවක නිලධාරීන් විසිහත් දෙනෙකු (27) වෙත මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ නවක නිලධාරීන් වෙත සිය උණුසුම් සුභාශිංසන පිරිනැමූ අතර, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දූ පුතුන් නාවික හමුදාවට එක්වීමට දිරිමත් කළ දෙමාපියන් සහ ආදරණීයයන්ගේ කැපවීම හා සහයෝගයද විශේෂයෙන් අගය කරන බව ප්‍රකාශ කරන ලදී.
එසේම, නාවික හමුදා පුහුණුව යනු ශාරීරික හැකියාවන් වර්ධනය කිරීම පමණක් නොව, විනයගරුකභාවය, නායකත්ව හැකියාවන්, කණ්ඩායම් හැඟීම සහ අභියෝගාත්මක අවස්ථාවන්හිදී නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන වැදගත් ක්‍රියාවලියක් බව නාවික හමුදාධිපති විසින් මෙහිදී අවධාරණය කරන ලදී. එමෙන්ම, පුහුණු කටයුතු සෑම අවස්ථාවකදීම ඉහළ කැපවීමකින්, වගකීමෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉටු කළ යුතු බවද පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා, නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් සහ ආදරණීයයන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.







