‘IOS SAGAR’ නාමයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කර ගනිමින්, 2026 මැයි මස 15 වැනි දින ‘IOS SAGAR’ නාමයෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව, 2026 මැයි මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාලසීමාව තුලදී, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නැව් මුළුව සමඟ වැඩසටහනකට සහ අදහස් හුවමාරුවකට එක්වූ අතර, ‘INS SUNAYNA’ නෞකාවේ අණදෙන නිලධාරී, බටහිර නාවික විධානයේ ආඥාපති සහ ධජ නිලධාරී නාවික දියත් විධානය සමඟ නිල හමුවීම් ද පැවැත්විය.

තවද, එම නෞකාව නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්හට අවස්ථාව හිමි වූ අතර, රටවල් දහහතක (17) නියෝජනයක් සහිත නැව් මුළුව සමඟ සුහද අත්පන්දු තරඟාවලියක් ද පැවත්විය. එමෙන්ම, නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කරන ලදි.

‘INS SUNAYNA’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වූ අතර, එහිදී නාවික සංඥා හුවමාරුව සහ ජලතරණ අභ්‍යාස මඟින් අන්තර් මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වර්ධනය මූලික කරගත් නාවික අභ්‍යාස කිහිපයක්ම සිදුකරන ලදි. මෙවන් නාවික අභ්‍යාස සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝගයන් වෙත සාමූහික ප්‍රවේශයකින් යුතුව ප්‍රතිචාර දැක්වීම සඳහා වැදගත්වේ.