ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී
2026 ජාතික රණවිරු දින සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2026 මැයි මස 19 වැනි දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්විණි.
ඒ අනුව, ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙලෙහිදී, දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින්, ගරු ජනාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා ප්‍රථමයෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදි.
එමෙන්ම, මානුෂීය මෙහෙයුම සඳහා එවකට යුද, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ලෙස අණදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ද, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පති රණවිරු ස්මාරකයට පුෂ්පෝපාහර දක්වන ලදි. තවද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ සන්නද්ධ සේවාවන් හා පොලීසිය නියෝජනය කරමින් විශ්‍රාමික නිලධාරීන් පිරිසක් රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකරන ලදි.
දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් දිවි පිදූ සහ අතුරුදහන් වූ වීරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව, 2026 රණවිරු සැමරුම් උළෙල නිමාවට පත් විය.
2026 ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව, රණවිරුවන් අනුස්මරණය කිරීමේ සැමරුම් උත්සව, දිවයිනේ විවිධ ස්ථානයන්හීදි ගරු ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා පුද්ගලයින් ඇතුළු අනෙකුත් සන්නද්ධ සේවාවන්ගේ හා පොලීසියේ සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්, එම ප්‍රදේශයන්හී රණවිරු ස්මාරකයන් අබියසදී අභිමානවත්ව පැවැත්විණි.


















