ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරු සුවදුක් විමසයි
ජාතික රණවිරු අනුස්මරන දිනය නිමිතිකොටගෙන, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 19 දින අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
යුද්ධ හා නාවික හමුදාධිපතිවරුන් සමග එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දශක කිහිපයක් තිස්සේ පැවැති සන්නද්ධ ගැටුම්වලදි තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද, බරපතළ තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණක්‍ෂිතයට පත් රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව ඉතා ලෙන්ගතුව සොයා බැලීය.
මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වීරෝදාර සෙබළුන් සමඟ ඉතා සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ වත්මන් අවශ්‍යතා පිළිබඳව අවධානයක් යොමු කළ අතර, ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෛද්‍ය, පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හි වත්මන් ප්‍රගතිය ද නිරීක්‍ෂණය කළේය. මාතෘභූමිය වෙනුවෙන් එම විරුවන් දැක්වූ නිර්භීතකම සහ අමිල කැපවීම අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් රජයේ නොමඳ සහයෝගය සහ උපරිම දායකත්වය අඛණ්ඩව ලබාදෙන බවට මෙහිදී සහතික විය.
එමෙන්ම, රණක්‍ෂිතයට පත් රණවිරුවන් රැකබලා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීමේ උදාර කාර්යභාරය වෙනුවෙන් මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සහය වූ සමස්ත කාර්ය මණ්ඩලය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. රට වෙනුවෙන් උතුම් මෙහෙවරක් ඉටුකළ මෙම රණවිරුවන් වෙත හිමිවිය යුතු උත්කෘෂ්ට ගෞරවය, අභිමානය සහ ආදරණීය සැලකිල්ල නොඅඩුව ලබාදෙමින් ඔවුන් ඉටුකරන සත්කාරක සේවය ද මෙහිදී එතුමාගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙම නිල සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මිහිඳු සෙත් මැදුරේ නිලධාරීන් මෙන්ම, කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය අනුග්‍රහය - https://www.defence.lk/


















