සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නාවික හමුදාවේ සහභාගීත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නීල හරිත සංග්‍රාමය’ (Green and Blue Domain) සමුද්‍ර පරිසර පද්ධතිය සුරැකීමේ වැඩසටහනට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ තවත් එක් වැඩසටහනක්, 2026 මැයි මස 19 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකංගනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම වැඩ සටහන සමුද්‍ර ජීවී විද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු සහ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ (Turtle Conservation Project) සභාපති තුෂාන් කපුරුසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති අතර, එහිදී කැස්බෑ සංරක්ෂණය, කඩොලාන ප්‍රතිස්ථාපනය සහ වෙරළබඩ පරිසර පද්ධති සුරැකීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කරන ලදී.

එමෙන්ම, වැඩසටහනට සදහා සහභාගීවූවන් නාවික තටාකංගනය ආශ්‍රිත වෙරළ ප්‍රදේශය තුල කැස්බෑවන් බිත්තර දමන ස්ථාන සහ දැනට ක්‍රියාත්මක සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ අතර, කඩොලාන වගා කිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් පාරිසරික පුනරුත්ථාපන කටයුතු සඳහා ඉදිරි පියවරයන් හඳුනා ගැනීමටද කටයුතු කරන ලදී.

මෙවැනි වැඩසටහන් මඟින් වෙරළ ප්‍රදේශ ආශ්‍රිත පරිසර පද්ධතිය පුනරුත්ථාපනය සහ සමුද්‍ර ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය මනාව පිළිබිඹු වේ.