ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිතා කරන ඉඩම් නිරීක්‍ෂණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිතා කරනු ලබන ඉඩම් නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 25 දින මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

මෙම සංචාරය සඳහා මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මෙම සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුල ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ නාවික හමුදාව විසින් දක්වන සක්‍රීය දායකත්වය පිළිබඳව පුළුල්ව නිරීක්‍ෂණය කළ අතර, මුහුදු සීමාවන් සහ වෙරළබඩ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම මෙන්ම, අදාළ බලප්‍රදේශ තුළ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සමාලෝචනය කළේය.

එමෙන්ම, අදාළ නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන් විසින් දැනට සිදුකරන මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කළ පුළුල් මෙහෙයුම් විස්තර කිරීම්වලින් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ එම විශිෂ්ඨ කාර්යභාරය අගය කළේය. එහිදී ඔවුන්ගේ මුලපිරීම්වල ඵලදායීතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම ද ඔහු විසින් සිදුකළේය.

ඉන් අනතුරුව, මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලික්කුලම්, සිලාවතුර, තලෙයිමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල නාවික හමුදාව දැනට භාවිතා කරන ඉඩම් නිරීක්‍ෂණය කල අතර, එහිදී ප්‍රදේශවාසීන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත් ඔහු, ඔවුන් මුහුණ දෙන නිවාස ගැටළු, ප්‍රජාව මුහුණ දෙන අභියෝග, සුබසාධන අවශ්‍යතා සහ විශේෂයෙන්ම ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. එමෙන්ම, අදාළ රාජ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් එම ගැටළු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාකාරී මාර්ග ද හඳුන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ශ්‍රී ලංකා නාවික හමුදාපති, මන්නාරම් රදගුරු නිල නිවසේ නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්, වයඹ සහ උතුරු මැද නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම මිනින්දෝරු සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය අනුග්‍රහය - https://www.defence.lk/