“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමගාමීව උතුරු වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් නාවික හමුදා දායකත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ශණීය සංචාරක ගමනාන්තයක්” ජාතික ව්‍යාපෘතියට සමගාමීව, උතුරු ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක්, 2026 මැයි මස 23 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය දායකත්වයෙන් සාර්ථකව පැවැත්විනි.

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම, වෙරළ තීරය පිරිසිදු හා ආකර්ශණීය ලෙස පවත්වාගෙන යාම මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ, වෙරළ තීරය ආශ්‍රිතව විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු, භාවිතයෙන් ඉවත් කළ ධීවර උපකරණ සහ අනෙකුත් ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස් කර, පරිසරයට හානි නොවන අයුරින් නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන නියෝජිතයින්, යුද්ධ හමුදාව, පොලීසිය, පරිසර සංවිධාන මෙන්ම ප්‍රදේශවාසී මහජනතාව ද සහභාගී වී සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.