‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක්‍ නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින උදෑසන (2023 ජුනි 07) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කෙරිණි.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය (Low Tide) හමුවේ යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී සිදුකල මෙම මෙහෙයුම හේතුවෙන් සිදූවීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ අතර, ‘කාලි අම්බාල් 2’ යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදුකරනු ලබන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබිණි.