වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක තොගයක් (95) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ හා ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා යන ආයතන සහ කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක් (95) සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ පොල්මල්කුඩා නාවික අනුඛණ්ඩය මඟින් 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ පුල්මුඩේ, යාන් ඔය රක්ෂිතය ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමදී, එම ප්‍රදේශයේ ළඳු කැළෑවක සූක්ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තුනක් (03) සහ විදුලි නොවන ඩෙටනේටර් පහක් (05) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු (01) වයස අවුරුදු 43 ක් වන ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක (95) තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා චීන වරාය පොලීසිය වෙතත්, පුල්මුඩේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තුන (03) සහ විදුලි නොවන ඩෙටනේටර් පහ (05) ඉදිරි නිතීමය කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙතත් භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.