රුපියල් මිලියන 42 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජුනි 08) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, මාමුනෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජුනි 08) සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක් (04) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, එම උර හතර (04) තුල පාර්සල් පනස් තුනක (53) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 128 ග්‍රෑම් 100 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

‍නාවික හමුදාව විසින් සිදුකරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 42 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.