රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම පල්ලියිමුනෙයි ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 10 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමගාමීව, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කර්තව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා වෙරල සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ කාර්යාංශය හා එක්ව පල්ලියිමුනෙයි ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය කංසා කිලොග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මෙම මෙහයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනhකට අධික වෙතැයි විෂ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 34ක් සහ 40ක් වන පල්ලියිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ විදේශීය කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.