මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් බත්තලන්ගුන්ඩුව හා මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි 28 වැනි දින බත්තලන්ගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරමට උතුරෙන් වූ මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 ජුලි මස 28 වැනි දින රාත්‍රී කාලයේ බත්තලන්ගුන්ඩුව හා මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් වයඹ සහ උතුරු මැද නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම්, එම නාවික විධානයන්ට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා අනුකූලතාවය දක්වා ඇති අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීමේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 02ක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනා කල්පිටිය හා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.