දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 09 වැනි දින රාත්‍රී කාලයේ, අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීම අවධාරණය කෙරේ.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 09 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන්වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.