නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 75 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හැත්තෑ පහක (75) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මඟින් පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ත්‍රී රෝද රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙන විත් එම ත්‍රී රෝද රථය මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පාර්සල් තුනක (03) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රැම් 75 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන පුත්තලම, පොම්පරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01), ත්‍රී රෝද රථය සහ බීඩි කොළ කිලෝග්‍රැම් 75 ක පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සඳහා වනාතවිල්ලුව පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.