ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්ෂම පරීක්ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (2023 ඔක්තෝබර් 22) දෙවුන්දර ධීවර වරායේදී නාවික හමුදාධිපති විසින් නිරීක්ෂණය කිරීම සිදුකෙරිණි.