නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 689 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය අසූ නවයක (689) පමණ තොගයක් සමඟ ලොරි රථයක්, ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ උර විසි එකක (21) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය අසූ නවයක (689) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01), ඩිංගි යාත්‍රාවක් (01) සහ ලොරි රථයක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරු (01), බීඩි කොළ තොග‍ය, ඩිංගි යාත්‍රාව (01) සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.