නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1066 කට අධික තොගයක් වයඹ මුහුද සහ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ඔක්තෝබර් මස 10 වන දින සිට 20 වන දින දක්වා පුත්තලම සිට සිලාවතුර දක්වා වයඹ මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1066 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා බරණ යන ආයතන විසින්, පුත්තලම මාම්පුරි වෙරළ ප්‍රදේශය, සිලාවතුර, කල්ආරු, අරිප්පු සහ කොක්කුපඩයාන් වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි, 2024 ඔක්තෝබර් මස 10 වන දින සිට 20 වන දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, මුහුදේ පාවෙමින් තිබු සහ වෙරළ තීරයට ගසාගෙනවිත් තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් හැට හයයි ග්‍රෑම් දෙසීයක (1066.200) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.