ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 26) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරුණු අතර, එම සහන කණ්ඩායම්, අකුරැස්ස ප්‍රදේශයේ අතුරලිය, බලකාවල සහ අරම්පත්වල යන ගම්මානයන්හී ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම අද දින (2024 නොවැම්බර් 26) උදෑසනද සිදුකරමින් සිටියි. එමෙන්ම 2024 නොවැම්බර් මස 25 වන දින අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් වෙත ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව සලසා දීම සිදු කෙරිණි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්හතරක් (134) නාවික හමුදාව තවදුරටත් සූදානමින් තබා ඇත.