මඩකලපුව පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ සිට වැඩිදුර ප්‍රථිකාර සඳහා කලවංචිකුඩි මූලික රෝහල වෙත රැගෙනයාමට නොහැකිව සිටි අසාධ්‍ය රෝගියෙකු රැගෙන යාමට නාවික හමුදා සහය

විෂකුරු සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් මඩකළපුව, පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් අසාධ්‍යව සිටි රෝගියෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා, කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන යාමට ප්‍රදේශයේ පැවති ගංවතුර තත්වය හමුවේ නොහැකිව සිටියදී අධික වර්ෂාපතනය හමුවේ පැවති දුෂ්කර කාලගුණික තත්වය නොතකා රෝගීයාගේ දිවි බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක සහය ලබා දීමට අද දින (2024 නොවැම්බර් 28) කටයුතු කෙරිණි.

ඒ අනුව, අධික වර්ෂාපතනය හමුවේ, මඩකලපුව ආත්තුක්කාඩු සිට පඩිඉරිප්පු පාලම දක්වා ඇති ප්‍රදේශයේ පැවති ගංවතුර තත්වය මත ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අඩාලවී තිබු අතර, එම නිසාවෙන් ජනතාව මහත් පීඩාවට පත්වී තිබිණි. එම තත්වය මත ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මගින් එම ප්‍රදේශය ආවරණය කරමින් සිදුකල සහන සැලසීමේ ක්‍රියාන්විතයකදී, මෙලෙස විෂකුරු සර්පයකු දෂ්ඨ කිරීම නිසා අසාධ්‍යව රොහල් ගත කර සිටි අවුරුදු 17 ක් වයසැති රෝගියෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා මඩකළපුව පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ සිට කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන යාම සඳහා ආත්තුක්කාඩු සිට පඩිඉරිප්පු පාලම දක්වා නාවික හමුදා යාත්‍රාවක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට මෙලෙස කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්පහක් (135) සූදානමින් තබා ඇත.