ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 3380 ට අධික දළ විථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව (01) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙක් බහුදින යාත්‍රාව (01) සහ සැකකරුවන් පිරිස අද (2024 දෙසැම්බර් 02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ‍ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය කිරීම කොළඹ වරායේදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් ද සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව කළාපීය නාවික හමුදාවන් සහ සමුද්‍රිය පාර්ශවකරුවන් හා එක්ව බුද්ධි තොරතුරු හුවමාරුකර ගනිමින් සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය නාවික හමුදාව සමඟ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙරට බහුදින ධීවර යාත්‍රා පිළිබඳ සිදුකළ සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 24 සහ 25 දිනයන්හීදී ආරාබි මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු‍ කෙරිණි. එහිදි අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් හයදෙනෙකු (06) සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් මෙරට බහුදින යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පස්දෙනෙකු (05) ඉන්දීය නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටය්තු කෙරුණු අතර, 2024 නොවැම්බර් මස 29 ය දින එම මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නිතීමය කටයුතු සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බහුදින ධිවර යාත්‍රාවේ සිටි සැකකරුවන් වයස අවුරුදු 24 ත් 49 ත් අත‍ර වන දෙවුන්දර, ගන්දර සහ මොනරාගල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර, එම ජාවාරමට සම්බන්ධ බවට සැක කර අත්අඩංගුවට ගත් අනෙක් බහුදින ධිවර යාත්‍රාවේ සිටි සැකකරුවන් වයස අවුරුදු 32 ත් 54 ත් අතර වන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.

කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකල වැඩිදුර පරික්‍ෂාවේදී ප්ලාස්ටික් ඇසුරුම් 295 ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර ක්‍රිලෝ 355 යි ග්‍රෑම් 828 ක් වන බව අනාවරණය විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දල විථි වටිනාකම රුපියල් මිලියන 3380 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර, සිදු කෙරුණු මෙවැනිම සාර්ථක බුද්ධී තොරතුරු හුවමාරුකර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 124 පමණ තොගයක් සමඟ මෙරට බහුදින ධිවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

තවද, ධීවර කර්මාන්තය මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කලාපීය සමුද්‍රීය පාර්ශව කරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ලබයි.