නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි මුහුදු ප්‍රදේශයේ සහ පුන්නයඩි වෙරළ ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ විදුලි ආලෝකධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ ඔරුවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් නිලාවේලි මුහුදු ප්‍රදේශයේදී සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් පුන්නයඩි වෙරළ ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, සැකකටයුතු ඩිංගි යාත්‍රා නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී තහනම් ධීවර දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝකධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දොලොස් දෙනෙකු (12), ඩිංගි යාත්‍රා හතරක් (04), එක් ඔරුවක් (01) සහ තහනම් ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 51 ත් අතර වයසේ පසුවන නිලාවේලි, මූතුර් සහ එරක්කන්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් දොලොස් දෙනා (12), ඩිංගි යාත්‍රා හතර (04), ඔරුව (01) සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහ වෙරුගල් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.