නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 28ක් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි, මන්තෙයි, වංකාලේ, සිලාවතුර සහ පුත්තලම දළුව යන මුහුදු ප්‍රදේශ තුළ 2025 ජනවාරි මස 07 වැනි දින සිට 09 වැනි දින දක්වා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් විසි අට දෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ වල්ලම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2025 ජනවාරි මස 07, 08 සහ 09 යන තෙදින තුල උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම ඕලුතුඩුවායි, මන්තෙයි සහ වංකාලේ යන මුහුදු ප්‍රදේශ තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ධීවර දැල් භාවිතා කිරීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කිරීම හේතුවෙන් සැකකරුවන් දොලොස් දෙනෙකු (12) ඩිංගි යාත්‍රා තුනක් (03) හා වල්ලම් යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය විස්සක් (620) ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, 2025 ජනවාරි මස 08 වැනි දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් පුත්තලම, දළුව වෙරළ ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ සහ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17ත් 61ත් අතර වයසේ පසුවන මන්නාරම, කල්පිටිය, දළුව, මඩකළපුව සහ උයිලන්කුලම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, මන්නාරම ඕලුතුඩුවායි, සහ මන්තෙයි යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය හා යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි. එමෙන්ම, පුත්තලම දළුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙතත්, සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හා ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ වංකාලේ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, හා ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා නානාට්ටාන් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.