අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගනියි

2025 ජනවාරි මස 27 වැනි දින, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදි නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි එක් (01) ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණී.

එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී, නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහාකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවීම සිදු කෙරිණී. එහිදි නාවික හමුදාව එම යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ඊට අවනත නොවි, නිත්‍යණූකූල රාජකාරීයට බාධා පමුණූවා, ඊට විශාල ප්‍රථිරෝධයක් දක්වමින් ආක්‍රමණශීලි ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු අතර, නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව පහරදීමට තැත්කර, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී, එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු විය.

නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල‍ වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉතිරි ධීවරයින් එකොලොස් දෙනා (11) කන්කසංන්තුරය වරාය වෙත අද (2025 ජනවාරි 28) උදෑසන රැගෙන ආ අතර, ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

අනවසර ධීවර කටයුතු සඳහා දේශීය ජල තීරයට සහ අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුල්වන ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මීට පෙරද සිදුකර ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

තවද, උතුරු මුහුදු ප්‍රදේශයේ මුහුදු තීරයේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැ‍කදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා අඛණ්ඩව කැපවී සිටියි.