නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1670 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් හයසිට හැත්තෑවයි (1670) ග්‍රෑම් පන්සීයක (500) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා සහ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2025 පෙබරවාරි මස 01 වන දින, මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ අතහැර දමන ලද සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර පනස් තුනක (53) අසුරන ලද බීඩී කොළ කිලෝ එක්දහස් හයසිය හැත්තෑවයි (1670) ග්‍රෑම් පන්සීයක (500) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව මෙලෙස මුහුදේ අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.






