නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක තොගයක් සහ පාවහන් 515ක තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 පෙබරවාරි මස 01 වැනි දින නොරොච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක් සහ පාවහන් යුගල් 515ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් නොරොච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ උර දාසයක (16) අසුරන ලද වියළි ඉඟුරු කිලෝග්‍රෑම් හාරසීය අනු හයක (496) පමණ තොගයක්, පාර්සල් හයක (06) අසුරන ලද පාවහන් යුගල් පන්සිය පහලොවක (515) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් සහ 46 ක් වන කල්පිටිය ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා , වියළි ඉඟුරු තොගය, පාවහන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.