තහනම් ධීවර දැල් 101ක් සමඟ සැකරුවෙකු කන්තලේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව කන්තලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) එකසීය එකක (101) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ධීවර ප්‍රජාවගෙන් ඉතා සීමිත පිරිසක් විසින් තහනම් දැල් භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තඨාකාංගනය ආයතනය විසින් කන්තලේ පොලීසිය හා එක්ව කන්තලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) එකසීය එකක් (101) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කන්තලේ, ධීවරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරු සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්තලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.