නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 1158ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 පෙබරවාරි මස 11 වැනි දින පුත්තලම දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු වියළි ඉඟුරු කිලෝ එක්දාස් එකසීය පනස් අටයි (1158) ග්‍රෑම් හැටක (60) පමණ තොගයක් සහ වියළි කරවල කිලෝ හතලිස් පහක (45) පමණ තොගයක් රැගත් කැබ් රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් පුත්තලම දළුව ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 11 වැනි දින රාත්‍රි කාලයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම කැබ් රථයේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ආ උර තිස් දෙකක (32) අසුරන ලද වියළි ඉඟුරු කිලෝග්‍රෑම් එක්දාස් එකසීය පනස් අටයි (1158) ග්‍රෑම් හැටක (60) පමණ තොගයක් සහ වියළි කරවල කිලෝ හතලිස් පහක (45)ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ එම කැබ් රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පුත්තලම සහ මනල්තෝට්ටන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් තිදෙනා, වියළි ඉඟුරු තොගය, වියළි කරවල තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.