නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 05 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 03 සිට 12 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් ඇල්ලු සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර දැල් දෙසීය පනහක (250) තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2025 පෙබරවාරි මස 03 වැනි දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටි ධිවරයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ මුහුදු කුඩැල්ලන් හැත්තැ නම දෙනෙකු (79) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2025 පෙබරවාරි මස 09,10 සහ 12 දිනයන්හීදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් නන්දිකඩාල් කලපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයෙකු (01) සමඟ නීති විරෝධී උගුල් දැල් දෙසීය හතක් (207), නීති විරෝධී ට්‍රැමල් දැල් හතලිස් තුනක් (43) සහ නීති විරෝධී නයිලෝන් දැල් තුනක් (03) සමඟ කුඩා ධීවර යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 37ත් අතර වයසේ පසුවන මන්නාරම සහ වඩ්ඩුවාකල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සමඟ ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න කිලිනොච්චිය සහ මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.