කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 මාර්තු මස 01 වැනි දින කටයුතු කෙරිණි.

ත්‍රීකුණාමලය ධීවර වරායෙන් 2025 මාර්තු මස 01 වැනි දින ධීවරයින් හත් දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Sadaru 03’ නමැති බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලය සිට නාවික සැතපුම් 09ක් (කිමි 16ක් පමණ) දුරින් වු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එක් ධීවරයෙක් රෝගීව අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම අසාධ්‍ය ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. ඒ අනුව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රීකුණාමලය වරාය වෙත කඩිනමින් රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා 2025 මාර්තු මස 01 වැනි දින රාත්‍රී කාලයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.