රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම මරිච්චකට්ටි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් එකකට (31) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ භරණ ආයතනය, මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ කාර්යාංශය හා එක්ව මන්නාරම මරිච්චකඩ්ඩි ප්‍රදේශයේ 2025 මාර්තු මස 02 වැනි දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ පාර්සල් දාහතරක (14) අසුරා විකිනීම සඳහා සූදානම් කර සඟවා තිබූ කේරළ ගංජා කිලෝ තිස් එකයි (31) ග්‍රෑම් හැට දෙකක (62) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දොලහකට (12) අධික වෙතැයි විශ්වාස කෙරෙණ අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන සවේරියර්පුරම්, සිලාවතුරෙයි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
තවද, අත්අඩංගුවට ගත් සැකකරු, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.





