රුපියල් මිලියන 78 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් ‍02ක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (2025 මාර්තු 03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය අනු හතකට (197) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව මඟින් මෙරටට රැගෙන එමින් තිබු පාර්සල් හැත්තැ අටක (78) අසුරන ලද කේරළ ගංජා කිලෝ එකසීය අනු හතයි (197) ග්‍රෑම් හාරසීයයක (400) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හැත්තැ අටකට (78) අධික වෙතැයි විශ්වාස කෙරෙණ අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29ක් සහ 43ක් වන පේසාලේ සහ කරෙයිනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කරෙයිනගර් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.