නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01), සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ගයෙන් නිති විරෝධී ලෙස මෙරටට සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම හේතුවෙන් රජයට ලැබීමට නියමිත බදු ආදායම අහිමිවීමෙන් ආර්ථිකයට සිදුවන දිගුකාලීන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් මඟින්, 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණ‍ය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ ප්ලාස්ටික් බහාලුම් තුල ශූක්‍ෂම ලෙස අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 38ත් අතර වන කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, සබන්කැට තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.