කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණූ මුහුදේදී අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණූ දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 326ක් (කිලෝ මිටර් 603ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් 2025 මාර්තු මස 25 වැනි දින සන්ධ්‍යාවේදී කටයුතු කෙරිණි.

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මත්ස්‍යයෙකු සපාකෑම හේතුවෙන් හදිසි අනතුරකට පත්ව තුවාල ලබා අසාධ්‍යව සිටින ධීවරයෙකු වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට වහාම ප්‍රතිචාර දැක්වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, අසාධ්‍ය රෝගියා ගොඩබිමට රැගෙන ඒමට සහය වන ලෙස දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ MT Gemini Pearl නැමැති නෞකාව දැනුවත් කෙරිණි.

ඒ අනුව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා MT Gemini Pearl නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් 2025 මාර්තු මස 25 වැනි දින හම්බන්තොට වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් එම ධිවරයා කඩිනමින් හම්බන්තොට වරායට රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.