නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ 08 යි ග්‍රෑම් 960ක පමණ තොගයක් සමඟ සැකකරුවන් ‍02ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙණ රත්‍රං කිලෝ අටයි (08) ග්‍රෑම් නමසිය හැටක (960) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (‍02) සහ තෙප්පම් යාත්‍රාවක් (01) තලෛයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී 2025 අප්‍රේල් මස 21 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකල මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) තලෛයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයටගත් සැකකරුවන්, රත්‍රං කිලෝ අටයි (08) ග්‍රෑම් නමසිය හැටක (960) පමණ තොගය සහ එම රත්‍රං මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ තෙප්පම් යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.