නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 497ක් සමඟ සැකකරුවන් 04ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය අනූ හතක (497) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් සහ මැරීන් බලඝණ කණ්ඩායමක් යොදවා 2025 මැයි මස 10 වැනි දින කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා තුළ තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර දාහතරක (14) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය අනූ හතක (497) පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 41ත් අතර වන කල්පිටිය ආනවාසල සහ මාන්පූරි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.