නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 979ක තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජුලි මස 01 වැනි දින කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් නවසිය හැත්තෑනවයක් (979) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේ 2025 ජුලි මස 01 වැනි දින සන්ධ්‍යා කාලයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා 03ක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්‍රාවන්හී තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, උර තිස් තුනක (33) අසුරන ලද වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් නවසිය හැත්තෑනවයක් (979) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25ත් සහ 41ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් තිදෙනා, ඩිංගි යාත්‍රා තුන සහ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.