රුපියල් මිලියන 202 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 02 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් (02), මැගසින් හතරක් (04), ජීවි උණ්ඩ හතලිහක් (40) ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් (01) සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය බුද්ධි තොරතුරකට අනුව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන්ගත් සැකකටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම කැබ් රථය තුල ප්‍රවාහනය කරමින් තිබූ කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් (02), මැගසින් හතරක් (04), ජීවි උණ්ඩ හතලිහක් (40) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එම සැකකරුවන්ගෙන් අනාවරණයවූ වැඩිදුර තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෝටර් රථයක් සමඟ තවත් සැකකරුවෙක් (01) ද එහිදී, අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙසීය දෙකකට (202) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් අවුරුදු 44 ත් සහ 51 ත් අතර වයසේ පසුවන අනුරාධපුර උලුක්කුලම, පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්හී පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ කංසා තොගය, පිස්තෝල අවි, මැගසින් හා ජීවි උණ්ඩ, කැබ් රථය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඔ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.