දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජූලි මස 13 වැනි දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙරට මුහුදු සීමාව තුළ විදෙස් ධීවරයන් විසින් සිදුකෙරෙණ අනවසර ධීවර කටයුතු හේතුවෙන්, සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය වැලැක්වීම වෙනුවෙන් සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන්, නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි

ඒ අනුව, 2025 ජූලි මස 13 වැනි දි අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කීපයක්, උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කල අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා (07) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2025 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 24 ක්‌ සහ ඉන්දීය ධීවරයින් 181ක්‌ අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය පියවර සඳහා යොමුකර ඇත.